ඉදුණු අඹ ගෙඩියක්

දොහ් දොහ්!
දඩ අඹ ගෙඩි දෙකක් එකපාරටම බිමට වැටුණා. රට අඹ ගහේ අඹ හරි රසයි. එක නිසාම ඒකට පෙරේත කමට දුවල ගිහින් ඒවා අහුලා ගන්න එක මගේ සිරිතක්.
අඹ ගෙඩි දෙක අහුලන් ඇවිල්ල  කුස්සියෙන් තිබ්බට පස්සේ මතක් උනේ මේ ගෙඩි වැටෙන්නේ කොහොමද?
අඹ ගෙඩි වැටෙන්නේ කොහොමද කියන එක හරි සරල ලේසි ප්‍රශ්නයක් උනාට මෙච්ච්ර කල් ඒක මෙහෙම ඔළුවට ඇවිත් තිබුනේ නැහැ. එකේ විද්‍යාත්මක කාරණේ හොයල බැලුවම දකින්නේ ලැබුනේ මෙන්න මෙහෙම දෙයක්. අඹ ගෙඩිය ඉදුනට පස්සේ අඹ ගෙඩියට එන ඔක්සින් කියන හොර්මොනය නතර වෙනවා. ඒ හෝර්මෝනය නතර උනාම අඹ ගෙඩියේ නටුව දිගේ ජලය එන්න බැරි විදිහට ඒ නටුවේ අග සෛල බිත්තියක් නිර්මාණය වෙනවා. ඒ නිසා ජල සැපයුම නතර උනාම අඹ ගෙඩිය දරා ඉන්න නටුව  ස්වභාවික මරණයකට ගොදුරැ වෙනවා. මැරුණු  නටුව ට අඹ ගෙඩියේ  බර දරාගන්න බැරි උන ගමන් අඹ ගෙඩිය බිමට වැටෙනවා.
විද්‍යාත්මක ඇසින් නෙවෙයි මේක දිහා පොඩ්ඩක් වෙන කෝණයකින් කල්පනා කරලා බැලුවම හිතට අමුතු හැගීමක් එනවා. ගහ නිෂ්පාදනය කරපු ගෙඩිය ගහට දරා ගන්න බැරුව අත අරින්න වෙනවා.
පොඩි කාලේ ඉදන්ම දුක් මහන්සි වෙලා ජලය සපයල කන්න බොන්න දීල අමාරුවෙන් හද ගත්ත ගෙඩියට යන්න දෙනවා කියන එකත් පොඩි පටු සෙල්ලමක් නෙවෙයි. හැබයි කොච්චර අමාරු උනත් ගහ ගෙඩියට යන්න දෙනවා. ගෙඩියට ඒක  ඇතුලේ ජීවයක් පවත්වා ගන්න පුළුවන් තරම් හයියක් ඇති බව ගහට තේරුණ ගමන් ගෙඩියට යන්න දෙනවා.
එක හැබැයි අමාරු දෙයක් වෙන්න ඇති. වැටෙන  ගෙඩියක් ගෙඩියක් පාසා  ගහ අඩනව වෙන්න ඇති. හැබයි තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අඹ ගහ ඒක කරනවා.
පොඩ්ඩක් කල්පනා කරලා බැලුවම එකත් අත හැරීම ගැන සරල එත් ගැඹුරු පාඩමක්.

-චන්දුල අර්සකුලසුරිය-

Comments

Popular posts from this blog

තමන් ගැන...

Do not let the world interpellate You!